තම දියණියට තෑගි ඔප්පුවකින් ලබාදුන් දේපළ, ඇය දැක්වූ අකෘතගුණී භාවය (Gross Ingratitude) මත යළි අවලංගු කිරීමට මවකට ඇති අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) සුවිශේෂී තීන්දුවක් ලබා දුන්නේය. දශක කිහිපයක් තිස්සේ ඇදී ගිය මෙම නඩු විභාගයේදී හෙළි වූයේ, මව විසින් ජීවිත භුක්තිය තබාගෙන ලබාදුන් දේපළ, දියණිය විසින් මවට නොදන්වා ඇගේ බාලවයස්කාර පුත්‍රයාට පවරා ඇති බවයි. එහිදී මවගේ ජීවිත භුක්තිය ඉවත් කර දියණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා සඳහා පමණක් ජීවිත භුක්තිය වෙන් කරගෙන තිබීම විශේෂත්වයකි.
ගම්පහ දිසා අධිකරණය මුලින් මවට පක්ෂව තීන්දුව ලබා දුන්නද, සිවිල් අභියාචනා මහාධිකරණය එය වෙනස් කරමින් ප්‍රකාශ කළේ මෙය දෑවැද්දක් (Dotal Gift) ලෙස ලබා දී ඇති බැවින් අවලංගු කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ මෙය සාමාන්‍ය තෑගි ඔප්පුවක් මිස දෑවැද්දක් නොවන බවයි. වයෝවෘද්ධ මවට සහ ඇගේ ආබාධිත සහෝදරියට සැලකීම පැහැර හැරීම, මරණීය තර්ජන එල්ල කිරීම සහ වාචික අපහාස කිරීම යන කරුණු මත මෙම තෑගි ඔප්පුව අවලංගු කිරීමට මවට පූර්ණ අයිතිය ඇති බව අධිකරණය අවධාරණය කළේය.














