කෘෂිකාර්මික කෘමිනාශක බහුලව භාවිත කරන ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ‘Nature Health’ සඟරාවේ පළ වූ මෙම පර්යේෂණයට අනුව, ආහාර, ජලය සහ අවට පරිසරය හරහා ශරීරගත වන කෘමිනාශක මගින් විශේෂයෙන්ම සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි ජනකොටස්වලට වැඩි බලපෑමක් එල්ල කරන බව හෙළි වී ඇත.
පෙරූ (Peru) රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ජාතික මට්ටමින් සිදුකළ මෙම අධ්‍යයනයේදී, පරිසර දත්ත සහ ජෛව සාම්පල විශ්ලේෂණය කිරීමෙන් පසු කෘමිනාශක නිරාවරණය සහ පිළිකා ඇතිවීමට හේතු වන ජෛව විද්‍යාත්මක වෙනස්කම් අතර සෘජු සබඳතාවක් පවතින බව විද්‍යාඥයෝ තහවුරු කර ගත්හ. විශේෂයෙන්ම කෘමිනාශකවලට නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් ඇති කලාපවල ජීවත් වන පුද්ගලයන්ට පිළිකා වැළඳීමේ අවදානම සාමාන්‍ය තත්ත්වයට වඩා 150%ක ඉහළ අගයක් ගන්නා බව මෙහිදී සොයාගෙන ඇත.
ප්‍රංශ ජාතික තිරසාර සංවර්ධන පර්යේෂණ ආයතනයේ (IRD) අණුක ජීව විද්‍යාඥ ස්ටෙෆාන් බර්ටානි (Stéphane Bertani) පවසන්නේ, කෘමිනාශකවල පවතින පිළිකා කාරක ගුණයන් පිළිබඳව මෙතෙක් පැවති අවබෝධය ප්‍රමාණවත් නොවීම නිසා මහජන සෞඛ්‍ය මැදිහත්වීම් ප්‍රායෝගිකව ප්‍රමාද වී ඇති බවයි. මෙම නව සොයාගැනීම් හරහා කෘමිනාශක භාවිතය පාලනය කිරීමට සහ අවදානම් සහිත කලාපවල ජනතාව ආරක්ෂා කිරීමට විධිමත් පියවර ගැනීමට මගපාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.














