කෙරවලපිටිය අපද්‍රව්‍ය අංගනයේ අද (26) හටගත් ගින්න සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳ විමර්ශනය කර කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා නියෝග කර තිබේ. වගුරු බිමක් ගොඩකර පවත්වාගෙන යනු ලබන මෙම ස්ථානයේ හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම විමර්ශනයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ජනනය වන මීතේන් වැනි දහනය වන වායු සිරවීම සහ එමගින් ගින්න පැතිරීමට ඇති ඉඩකඩ පිළිබඳවයි. මීතේන් වායු විමෝචනය පාලනය කිරීම සහ එමගින් වායුගෝලයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ ඕසෝන් ඒකකයේ තාක්ෂණික දායකත්වය ලබා ගැනීමට ද මෙහිදී උපදෙස් දී ඇත. මීට අමතරව, රජය විසින් ක්‍රියාත්මක කරන නව ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ මධ්‍යයේ මෙවැනි ආපදා තත්ත්වයක් ඇතිවීමට බලපෑ පරිපාලනමය හෝ තාක්ෂණික ලුහුඬුකම් පිළිබඳව ද සොයා බැලීමට නියමිතය.
ගින්නෙන් විනාශයට පත් වූ වගුරු බිම් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු පියවර සහ පාරිසරික බලපෑම් අවම කිරීමේ උපායමාර්ග පිළිබඳව ද වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා තිබේ. කෙරවලපිටිය ප්‍රදේශයේ පවතින දුම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බැවින්, ප්‍රදේශවාසීන් මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














