2015 ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් ජී.අයි (GI) බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 14 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීන්දු කළේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කරමින්, දේශපාලන කටයුතු සඳහා ජී.අයි. බට 600ක් මිලදී ගැනීම හරහා රජයට පාඩු සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු මෙම නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.














