ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) සහ මාලදිවයින් ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා වන නව අවබෝධතා ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
දෙපාර්ශ්වය අතර මුලින්ම 2012 වසරේදී වසර 5ක් සඳහා ගිවිසුම් අත්සන් කෙරුණු අතර, එය 2018 වසරේදී නැවත අලුත් කරන ලදී. එම ගිවිසුමේ වලංගු කාලය 2023 වසරේදී අවසන් විය.
සංශෝධිත නව ගිවිසුම හරහා පුහුණු වැඩසටහන්, කාර්ය මණ්ඩල හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ සහ ශාස්ත්‍රීය ප්‍රකාශන හුවමාරු කර ගැනීමට අපේක්ෂිතය.
අධ්‍යාපන කටයුතුවලට අමතරව සංස්කෘතික හා මලල ක්‍රීඩා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී එකඟතාව පළවී ඇත.
මෙම පියවර හරහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආරක්ෂක සහ අධ්‍යාපනික ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.














