ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන්දිනය එම ඒකකය තුළදී කේක් කපා සැමරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් මහතා අද (30) ප්‍රකාශ කළේය.
සැකකාරියගේ සොහොයුරා විසින් රැගෙන ආ කේක් ගෙඩියක් මෙලෙස CCD මූලස්ථානය තුළදී කපා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, පොලිස් නිලධාරීන් වෘත්තීය ආචාර ධර්ම පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතු බවත්, අපරාධකරුවන් සමඟ මෙවැනි සමීප සබඳතා පැවැත්වීම බරපතළ වරදක් බවත්ය. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් අදාළ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.














