කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) පසුගිය මාසය තුළ 11.2%ක කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. මීට අමතරව වඩාත් ක්‍රියාකාරී සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද මාසය තුළ 11.0%ක පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර මෙම මාසය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් බිලියන 4.71ක් ලෙස සටහන්ව තිබෙනවා. සම්පත් බැංකුව (Sampath Bank), හේලීස් (Hayleys) සහ ඒ.සී.එල්. කේබල්ස් (ACL Cables) වැනි ප්‍රමුඛ පෙළේ සමාගම්වල කොටස් මිල ගණන් පහත වැටීම වෙළෙඳපොළ රතු පැහැයෙන් (අඩු අගයකින්) වැසී යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර එදින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.5 ඉක්මවා ගියා.
වෙළෙඳපොළ පිරිවැටුමට වැඩිම දායකත්වයක් ලබා දුන් ක්ෂේත්‍රය වූයේ ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රයයි (Capital Goods). එහිදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) කොටසක මිල ශත 40කින් (2.22%) ඉහළ ගොස් රුපියල් 18.40ක් ලෙසත්, හේලීස් (Hayleys) කොටසක මිල රුපියල් 2.00කින් (0.92%) පහත වැටී රුපියල් 215.00ක් ලෙසත් ගනුදෙනු අවසන් වුණා. පිරිවැටුමට දෙවනුවට වැඩිම දායකත්වයක් ලබා දුන්නේ බැංකු ක්ෂේත්‍රයයි (Banking Sector). එහිදී සම්පත් බැංකුවේ කොටස් මිල රුපියල් 10.25කින් (6.59%) පහත වැටී රුපියල් 145.25ක් ලෙස සටහන් වූ අතර හැටන් නැෂනල් බැංකුවේ (HNB) කොටස් මිල රුපියල් 5.75කින් (1.42%) ඉහළ ගොස් රුපියල් 410.75ක් දක්වා වර්ධනය වුණා. ටෝකියෝ සිමෙන්ති සමාගම (Tokyo Cement) ද වැඩිම පිරිවැටුමක් වාර්තා කළ සමාගම් අතරට එක්වූ අතර එහි කොටසක මිල රුපියල් 2.50කින් පහත වැටී රුපියල් 88.90ක් ලෙස සටහන් වුණා. මේ අතර වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය සඳහා විදේශීය ආයෝජකයන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පැවති අතර ඔවුන් ශුද්ධ විකුණුම්කරුවන් ලෙස එදින කටයුතු කර තිබෙනවා.














