කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරමින් ඉදි කෙරුණු නව ගුවන් පාලම අද (19) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය.
මෙම ගුවන් පාලම සැලසුම් කෙරුණේ 2018-2019 වකවානුවේදී වන අතර, එහි වැඩකටයුතු 2022 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත් මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතියේ වැඩකටයුතු වසර තුනක් ප්‍රමාද වූ අතර, එම ප්‍රමාදය නිසා ප්‍රමාද ගාස්තු ලෙස පමණක් රුපියල් බිලියනයක අතිරේක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇත. ව්‍යාපෘතිය සඳහා වැය කළ මුළු මුදල රුපියල් බිලියන 3.1කි.
මංතීරු දෙකකින් සමන්විත මෙම ගුවන් පාලම මීටර 320ක දිගකින් සහ මීටර 11ක පළලකින් යුක්ත වන අතර, එය එක් දිශාවකට පමණක් රථ වාහන ධාවනය සඳහා විවෘත වේ. කොම්පඤ්ඤවීදිය දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව ඇති වන දැඩි රථ වාහන තදබදයට මෙමගින් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අතීතයේ සිදුවූ ආර්ථික අපරාධවල ප්‍රතිවිපාක මෙවැනි ප්‍රමාදයන් හරහා අදටත් අත්විඳීමට සිදුවන බවත්, එම අභියෝග මැද ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














