කොළඹ නගරයේ ඓතිහාසික හා ප්‍රධානතම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන ගාලු මුවදොර පිටිය (Galle Face Green) නඩත්තු කිරීමේදී වර්තමානය වන විට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) පවසයි. වසරකට ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන මෙම භූමිය නඩත්තු කිරීම සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 25ත් 30ත් අතර පිරිවැයක් දැරීමට සිදුව තිබේ.
විශේෂයෙන්ම උත්සව සහ සංගීත සංදර්ශන පැවැත්වීමෙන් පසු හානි වන තණකොළ පිට්ටනිය යළි සකස් කිරීම සහ දිනපතා එකතු වන විශාල කසළ ප්‍රමාණය පිරිසිදු කිරීම බලධාරීන්ට ප්‍රධාන ගැටලුවක් වී ඇති අතර, පසුගිය දෙසැම්බර් උත්සව සමයේ එක් දිනකදී පමණක් කසළ ටොන් 12ක් එහි රැඳී තිබූ බව වාර්තා වේ.
භූමියේ පවතින අවිධිමත් වෙළඳාම නියාමනය කිරීම සඳහා තායිලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන “වීදි ආහාර” (Street Food) සංකල්පය හඳුන්වා දීමට ද පියවර ගෙන ඇති අතර, ඒ යටතේ සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආහාර පාරිභෝගිකයාට ලබා දීමට සැලසුම් කර ඇත. 2020 වසරේදී රුපියල් මිලියන 220ක් වැය කරමින් සිදුකළ නවීකරණ කටයුතුවලින් පසුව ද ඇතැම් පිරිස් භූමිය අනිසි ලෙස පරිහරණය කිරීම සහ භූගත වෙළඳසැල් පද්ධතියේ පවතින තරඟකාරීත්වය හේතුවෙන් කළමනාකරණ කටයුතු සංකීර්ණ වී තිබේ. මේ නිසා ගාලු මුවදොර පිටියේ සුන්දරත්වය සහ පිරිසිදුකම රැක ගැනීම සඳහා ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පාලනාධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.














