රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මනිපායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයා පරීක්ෂා කිරීමේදී, ඔහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා තිබූ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 116ක කුෂ් මත්ද්‍රව්‍ය තොගය හමු විය. එහි වටිනාකම රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් (රු. 21,160,000) පමණ වන බව ගණන් බලා ඇත.
ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව, මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම වෙත රැගෙන යාමට මීගමුව සුපිරි වෙළඳසැලක් අසල රැඳී සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි 43 සහ 36 හැවිරිදි පුද්ගලයන් බව වාර්තා වේ.
සැකකරුවන් තිදෙනා අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














