පොලොන්නරුව, ඕනෑගම වෙහෙරගොඩැල්ල ප්‍රදේශයට පසුගියදා බලපෑ දැඩි ගංවතුර තත්ත්වය බැසයාමත් සමඟ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිල්ලක පාදමක් සහ විවිධ පුරාවස්තු රැසක් මතු වී තිබේ. අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන මෙම ස්ථානයෙන් පිළිමගෙයක හෝ පොහොයගෙයක පාදමක් ලෙස සැලකිය හැකි ඉදිකිරීම් මෙන්ම, විවිධ වර්ණයේ පබළු, මුතු වැනි පාෂාණ වර්ග සහ කැටයම් සහිත මැටි බඳුන් කොටස් හමුවන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙසේ අලුතින් මතු වූ පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය හරහා වැලි ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථ ගමන් කිරීම සහ ගවයින් ගැවසීම හේතුවෙන් මෙම ඓතිහාසික නටබුන් වේගයෙන් විනාශ වෙමින් පවතින බව වාර්තා වේ. වසර ගණනාවක් පස්වලින් යටවී තිබී ස්වභාවික විපතකින් පසු යළි අනාවරණය වූ මෙම වටිනා උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














