නව විදුලි ප්‍රතිපත්තිය යටතේ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන වීථි ලාම්පු සඳහා වැයවන විදුලි පිරිවැය, එම ප්‍රදේශයේම පදිංචි පාරිභෝගිකයන්ගේ මාසික විදුලි බිලට ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.
මීට පෙර පළාත් පාලන ආයතන හෝ වෙනත් අංශ මඟින් පියවනු ලැබූ වීථි ලාම්පු ගාස්තු, මින් ඉදිරියට සෘජුවම සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට යෝජිත බවත් අතිරේක ගාස්තුව පාරිභෝගිකයෙකුගේ විදුලි බිලෙන් 2.2%ක උපරිම සීමාවකට යටත් විය යුතු බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා දැනුම් දී ඇත.
මෙම තීරණය විදුලි පාරිභෝගිකයන්ට සිදුකරන අසාධාරණයක් ලෙස එම සංගමය පෙන්වා දෙයි.
“යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා.”
වීථි ලාම්පු කළමණාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමට ද එමඟින් යොජනා කර ඇති බව ඔහු සඳහන් කළේය.
“අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න.”














