ග්‍රාමීය දිළිඳු බව තුරන් කර සමාජය සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ සමුළුව ඊයේ (10) ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 14,007ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන නිලධාරීන් 16,000ක් සේවයේ යොදවා ඇති අතර, මෙවර අයවැයෙන් දිළිඳුකම පිටුදැකීම සඳහා රුපියල් මිලියන එක් ලක්ෂ අසූදහසක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය හා වතු ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා (CDC) මගින් සමාජ විගණනයක් සිදු කිරීමට අවස්ථාව සැලසෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














