රජය විසින් ගෑස් සහ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (07) දින සභා ගැබ තුළ අපූරු විරෝධතාවයක නිරත විය. අප්‍රේල් මාසයට අදාළ මාසික සභා වාරය ආරම්භයේදී සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සඳහා සභාපති පයිසාන් නයිසර් මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සහභාගී වූයේ සිරුරේ කළු පටි බැඳගනිමිනි. වත්මන් රජය යටතේ බලශක්ති මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාවට නැවතත් දර භාවිත කිරීමට සිදුව ඇති බව සංකේතවත් කරමින් ඔවුන් කුරුඳු දර මිටි කරපින්නාගෙන සභා ගැබ වෙත පැමිණීම කාගේත් විශේෂ අවධානයට ලක් විය.
මෙම විරෝධතාවය මධ්‍යයේ සභා වාරය ආරම්භ වූ අතර එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් අවධාරණය කළේ පවතින මිල ඉහළ යාම හමුවේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි. රජයේ පාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරුන්, උත්සව සමයේ ජනතාවට සහන සලසනවා වෙනුවට ජීවන වියදම ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා කළහ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ දරමිටි සභා ගැබේ තබාගෙන මන්ත්‍රීවරුන් සිය විරෝධය දිගින් දිගටම පළ කළහ.













