ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙළඳපොළේ පවතින බව කියන ගෑස් හිඟය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමින් ප්‍රකාශ කරන්නේ ප්‍රමාණවත් තරම් දියර පෙට්‍රෝලියම් ගෑස් තොග සුරක්ෂිතව පවතින බැවින් මහජනතාව අනවශ්‍ය ලෙස කලබල වී තොග රැස් නොකළ යුතු බවයි. පසුගිය පෙබරවාරි 14 වනදා සිදුවූ දින දෙකක සැපයුම් බාධාව සහ වෙළඳපොළ ඉල්ලුම හදිසියේ ඉහළ යාම හේතුවෙන් මෙම තාවකාලික තත්ත්වය උදා වූ බව එම සමාගම පෙන්වා දෙයි.
සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ලිට්‍රෝ සමාගම මේ වන විටත් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 සහ 18 යන දිනවලදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 284,000ක් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, අද සිට එළඹෙන සෙනසුරාදා දක්වා තවත් සිලින්ඩර 351,000ක් පාරිභෝගිකයන් වෙත මුදා හැරීමට නියමිතය. ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සහතික කරන්නේ මෙම මස අවසානයට පෙර තවත් ගෑස් නෞකා තුනක් මෙරටට ළඟා වීමට නියමිත බැවින් ඉදිරියේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවයි.














