8 September 2024
#දේශීය #පුවත්

ගුරු-විදුහල්පතිවරු අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ

ගුරු-විදුහල්පතිවරු අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසයි.

ඒ, වැටුප් විෂමතා ගැටලු මුල් කර ගනිමිනි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා ඉගැන්වීමේ ක්‍රියාවලිය ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන් සහ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවන කිසිදු රාජකාරියකට සහභාගි නොවන බව ද උන්වහන්සේ පැවසීය.

එමෙන්ම ඉදිරි දෙසතිය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන අතර සියලු බාහිර කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ පවසා සිටියි.

මේ අතර දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සැලසුම්කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය නොදක්වන බව ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *