ගුරු සේවා තරඟ විභාගය සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ පවතින දෝෂ හේතුවෙන් උපාධිධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් ගැසට් නිවේදනයට අනුව 2025 ජුනි 30 වන දිනට පෙර උපාධිය සම්පූර්ණ කළ අයට පමණක් සුදුසුකම් ලැබීම ගැටලු සහගත බව පෙන්වා දෙන ඒ මහතා, රජය නිශ්චිත අරමුණක් සහිතව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පවා අපොහොසත් වී ඇතැයි චෝදනා කළේය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, 2025 දෙසැම්බර් මාසය වන විට උපාධිය සම්පූර්ණ කළ සියලුම තරුණ තරුණියන්ට විභාගයට පෙනී සිටීමට හැකි වන පරිදි අදාළ දිනය දීර්ඝ කරමින් වහාම නව ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවයි. මෙම සංශෝධනය සිදු නොකිරීම රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ට සිදුකරන බලවත් අසාධාරණයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














