සෝමාලියාවේ ස්ටාර්ස්කි ගුවන්සේවයට (Starsky Aviation) අයත් ෆොකර් 50 (Fokker 50) මාදිලියේ ගුවන් යානයක් මොගඩිෂු හි ඇඩන් ඇඩේ (Aden Adde) ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී හදිසි ගොඩබෑමකට ලක් කිරීමේදී සිදුවන්නට ගිය මහා විපතක් වළක්වා ගැනීමට ගුවන්නියමුවා සමත්ව තිබේ. ජිබුටි බලා පියාසර කරමින් තිබූ මෙම යානය ගුවන්ගත වී කෙටි වේලාවකින් ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නැවත ගුවන්තොටුපළ වෙත හැරවීමට නියමුවා පියවර ගෙන ඇත.
හදිසි ගොඩබෑමේදී යානය ධාවන පථයෙන් ඉවතට පැන මුහුද දෙසට ඇදී ගොස් ඇති නමුත්, ගුවන්නියමුවා ගත් නිවැරදි තීරණ නිසා යානයේ සිටි මගීන් 50 දෙනා සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනාම කිසිදු තුවාලයකින් තොරව බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට පත් යානය සාගරයේ නොගැඹුරු ප්‍රදේශයක නතර වී ඇති අතර, සහන සේවා කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට සමත්ව ඇත.














