නිවසක ප්‍රධාන දොර කියන්නේ අතීතයේ සිටම ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතා වැදගත් අංගයක්.
ජ්‍යෝතිෂය හෝ වාස්තු යන පාරභෞතික කාරණා ඇසුරෙන් සැලකුවත්, අලංකාරය හෝ මතුපිට ආකර්ෂණය පිළිබඳව නූතනවාදීව සැලකුවත් නිවසේ ප්‍රධාන දොරට හිමිවන්නේ විශේෂ වැදගත්කමක්.
තාක්ෂණය කොපමණ දියුණු වුවත් අද වනවිටත් නිවසක උළුවහු සහ දොරවල් නිර්මාණය වීමේ තාක්ෂණය එක සමානයි. උළුවහු නොමැති ‘pivot’ආකාරයේ දොරක් හැරෙන්නට උළුවස්සට සරනේරුවලින් දොර සවි වීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය තමයි අදටත් වඩාත් ජනප්‍රිය.
ඇතැම් විට ප්‍රධාන දොරටත් වඩා ප්‍රධාන උළුවස්ස සම්බන්ධයෙන් තමයි නිවැසියන්ගේ සේම වඩු කාර්මික ශිල්පීන්ගේ වැඩි අවධානය යොමු වන්නේ. නිවසේ අනෙක් දොර උළුවහුවලට වඩා ප්‍රධාන දොර සහ උළුවස්ස සම්බන්ධයෙන් දැඩි භක්තියක් සහ උවමනාවක් දක්වන්නේ එය නිවැසියන්ගේ ජීවිතවල සාර්ථකත්වයට විශේෂයෙන් බලපාන බවට ජ්‍යෝතිෂයේ හෝ වාස්තු ශාස්ත්‍රයේදී විශ්වාස කරන නිසයි. කොස්, මිල්ල, පලු, වෑවරණ, කැටකෑල වැනි කිරි ගසක ලීවලින් නිවසේ ප්‍රධාන උළුවස්ස සෑදීමේ සම්ප්‍රදාය අදටත් බොහෝදෙනා විශ්වාස කරන කරුණක්. එමෙන්ම දෙවියන් හා සම්බන්ධ ‘නා’, ‘මී’ වැනි ලීවලින් නිවසක උළුවහු සාදන්නේ නැති බවටද පැරණි විශ්වාසයක් පවතිනවා.
මේ කෙසේ වෙතත් නූතන නිවාස සංස්කෘතියේදී උළුවහු සඳහා තේක්ක, කෙම්පස් වැනි ලී සහ දොරපියන් සඳහා මහෝගනී ලී බහුලව භාවිත වන නමුත් එවැනි නිවසක් සාදන කෙනෙක් පවා ප්‍රධාන දොර සම්බන්ධයෙන් පෙර කී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරන ආකාරය තවමත් දකින්න පුළුවන්.
කෙසේ වෙතත් මේ කුමන ලී විශේෂය භාවිත කළත් අතීතයේදී තරම් වෙළෙඳ පොළෙන් ලැබෙන ලී වේළා පදම් වී නොමැති බැවින්, අවම වශයෙන් ප්‍රධාන දොර සහ උළුවස්ස වෙනුවෙන් යොදන ලී පමණක්වත් අනිවාර්යෙන් පදම් කර කෘමීන්ට බලපෑම් කළ නොහැකි ලෙස දැව ආරක්ෂක ‘wood preservatives’ ආලේප කිරීමට මතක තබා ගන්න.
වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්
Umesh R.I. ජයසිංහ