“මට්ටක්කුලියේ කුඩු රොෂාන්” ගෙන් ලද තොරතුරු මත වැටලීමක්
අවි ආයුධ බෑගයක දමාගෙන පලා යාමට උත්සාහ කිරීමේදී කොටු වෙයි
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පසුගිය කාලසීමාව පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ විවිධ අපරාධ සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින “මට්ටක්කුලියේ කුඩු රොෂාන්” නැමැති සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ. සැකකරු මට්ටක්කුලිය කදිරානා වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ ගිනි අවි බෑගයක බහා සිය නිවසින් බැහැර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවි සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














