මම පහුගිය දවසක FB පෝස්ට් එකක් දැක්කා. ඒකෙ තිබුනෙ චික්සුලබ් ග්‍රහක ඝට්ටනය සහ ඩයිනෝසරයින් ගෙ වඳවීම සම්බන්දව. ඒකෙ සඳහන් වුනා ග්‍රහකය වැදීමෙන් ඇති වුනු ආවාටය කි.මී. 150 ක් පළලයි වගේම, කි.මී. 20 ක් ගැඹුරුයි කියලා. ඒකට කමෙන්ට් කරපු ගොඩක් අයට තිබුනු ප්‍රශ්නෙ තමයි. පෘථිවියේ ගැඹුරුම තැන මරියානා ආගාධය නම්, චික්සුලබ් ආවාටය කි.මී. 20 ක් ගැඹුරු වෙන්නෙ කොහොමද ? මරියානා ආගාධයේ ගැඹුර මීටර් 10,984 ක්. ඒ කියන්නෙ දළ වශයෙන් කි.මී. 11 ක් විතර. පෘථිවියේ ගැඹුරුම තැන මොකක්ද ඇහුවොත්, කිසිම සැකයක් නැතුව ඕනෙම කෙනෙක් දෙන උත්තරේ තමයි “මරියානා ආගාධය”. එහෙනම් මොකක්ද මේ හරුපෙ..? චික්සුලබ් ආවාටය කි.මී. 20 ක් ගැඹුරු වෙන්නෙ කොහොමද ? ගොඩක් අය ඒ පොස්ට් එකේ බොරු කියනව කියලත් බැනල තිබුනා. ඇත්තටම මොකක්ද මේ කතාවෙ තේරුම..? 🤔 අද අපි බලමු ඒ ගැන..!
අදින් වසර මිලියන 66 කට කලින් දවසන, අද මෙක්සිකෝව විදිහට අපි හඳුන්වන රටේ යුකැටන් අර්ධද්වීපය ට උඩින්, දීප්තිමත් ආලෝකයක් දිස් වෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික විශාල වෙමින් පෙනෙන මේ ආලෝකය මුළු පෘථිවියේම දෛවය වෙනස් කරන බව කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නැහැ. මේ පැමිනෙන්නෙ කි.මී. 10 – 12 අතර විෂ්කම්භයක් තියෙන දැවැන්ත ග්‍රහකයක්. ඒක අද එවරස්ට් කන්දට වඩා උසයි. මේක පෘථිවිය පැත්තට ඇදිල එන්නෙත් සුළු පටු වේගෙකින් නෙවෙයි. පැ.කි.මී. 72,000 – 90,000 ත් අතර වේගයකින්. ඉතින් මේක ඇවිත් වැදුනාම, එතන තිබුන ජලය විතරක් නෙවෙයි, පාෂාණ පවා උණවෙලා වාෂ්ප වෙන්න පටන්ගන්නවා. එතන නිර්මාණය වෙන්නෙ හිරෝෂිමාවට හෙලපු little boy පරමාණු බෝම්බෙ වගේ, බිලියන 6 ගුණයක ට වැඩි බලයක්.
ඉකින් මේක නිසා ඇත්තටම කි.මී. 20 ක් හෝ ඊටත් වඩා ගැඹුරු කුහරයක් හැදෙනවා. නමුත් මේක අද මතුපිටින් දකින්න ලැබෙන්නෙ නැහැ. එහෙනම් මොකක්ද ඒකට වුනේ..?
ඔයා ගෙදර වත්තෙ පල්ලෙහා වලක් හාරලා, මාසයක් තියල බලන්නකො මොකද වෙන්නෙ කියල ! වැහි දෙක තුනක් වැටෙන කොට ඕක නිකන්ම පිරිල යනව නේද ? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙ. අවුරුදු මිලියන 66 කට වැඩි කාලයක් තිස්සෙ කැරිබියානු ද්‍රෝණියට සහ මෙක්සිකෝ බොක්කට ගලාගෙන එන විවිධ අවසාදිත වලින් මේක පිරෙනවා.
ඒ විතරක් නෙවෙයි, ආවාටයේ විශාල කොටසක් පිරුනෙ ඝට්ටනය සිද්ද වෙලා විනාඩි කිහිපයක් ඇතුලත. ග්‍රහකයේ විශාලත්වය සහ ඒක වැදුනු වේගයත් එක්ක කි.මී. 20 කට වැඩි කුහරයක් ක්ෂණිකව හැදුනු බව ඇත්තක්. ඒත් ඒක ස්ථිර කුහරයක් නෙවෙයි. ඉතාම ඉක්මනින්, ආවාටයේ බිත්ති කඩා වැටීලා මේ කුහරය පිරෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ පිපිරීමෙන් පොළොව අභ්‍යන්තරයෙ තිබුන ඝන පාෂාණ පවා අහසට විසි වෙලා, නැවත පොළොවට වැටෙනවා. ඒ අවස්ථාවෙදීත් කුහරය යම් තාක් දුරකට පිරෙනවා. ඊට පස්සෙ මෙගා සුනාමියක් එනවා. මොකද ග්‍රහකය වැටෙන්නෙ නොගැඹුරු සාගරයක ට. අඩි දහස් ගණනක් උඩට විදින ජල කඳ ආපහු එන්නෙ විශාල පස් ප්‍රමානයක් හෝද ගෙන. මේකෙනුත් ආවාටය තව ටිකක් පිරෙනවා.
මේ පිරවීමේ ක්‍රියාවලියෙ අවසාන සහ දීර්ඝකාලීන අදියර තමයි කාදනය මගින් අවසාදිත තැන්පත් වීම. ඒ වගේ ම කාලාන්තරයක් තිස්සෙ එකතු වෙන කුඩා සතුන්ගෙ ශරීර කොටස් වලිනුත් මේක පිරෙනවා.
ඔය කි.මී. 20 ක් ගැඹුරුයි කියල කියන්නෙ, ග්‍රහකය ගැටීමෙන් නිර්මාණය වුනු, සම්පූර්ණ “බලපෑම් ව්‍යුහයේ” ගැඹුරට. මේක අද මතුපිටින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඇත්තම කතාව නම් 1970 විතර වෙනකම් කවුරුවත් දැනන් හිටියෙ නැහැ මෙහෙම ආවාටයක් තියෙනවා කියලවත්.
තෙල් කැනීම් සම්බන්ද ව්‍යාපෘතියක දි භූ භෞතික විද්‍යාඥයින් ට තමයි මේ ආවාටය ගැන මුලිම සාක්ෂි ලැබෙන්නෙ. යුකැටන් අර්ධද්වීපයේ තෙල් සහිත ස්ථාන සමීක්ෂණය කරමින් ඉන්න කොටා, විශාල වෘත්තාකාර කලාපයක ගුරුත්ව අසාමාන්‍යතාවක් ඔවුන්ට නිරීක්ෂණය වෙනවා. මේක වෙන්නේ ආවාටයේ මතුපිටින් ඇති අවසාදිත ස්ථරයේ සාපේක්ෂ ඝනත්වය අඩු නිසායි. මේක සාමාන්‍ය ගිනිකඳු බලපෑමකට වඩා, ග්‍රහක බලපෑමකින් ඇති වුන එකක් බව විද්‍යාඥයො තේරුම් ගත්තා. හැබැයි එයාල දැනන් හිටියෙ නැහැ, ඩයිනෝසරයින් ගෙ වඳවීමට මේක තියෙන සම්බන්දෙ ගැන. ඒ ගැන පර්යේෂණ වෙනම සිදුවෙමින් තිබුනා. පස්සෙ මේ විද්‍යාඥ කණ්ඩායම් දෙකේ සොයාගැනීම් එකතු වෙලා තමයි, 1990 වෙද්දි චික්සුලබ් ආවාටය හඳුන ගන්නෙ.
එතකොට මතුපිටින් පේන්නේ නැති දෙයක් මෙච්චර ගැඹුරුයි කියලා විද්‍යාඥයෝ දැනගන්නේ කොහොමද ?
මේක නිරීක්ෂණය කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි දැනටම සඳහන් කරපු ගුරුත්ව අසාමාන්‍යතාව හඳුනා ගැනීම. තව එකක් තමයි භූ කම්පන තරංග අනුව පොළොව අභ්‍යන්තරය සිතියම් ගත කිරීම. ඒකෙදි තරන්නෙ භූ කම්පන තරංග නිර්මාණය කරලා, ඒ ශබ්ද තරංග ආවාටය ගැඹුරෙ විවිධ ස්ථර වල වැදිල පරාවර්තනය වෙන්න ගතවන කාලය ගණනය කරන එක. මේ ක්‍රමයෙන් බලපෑම් ව්‍යුහයේ පතුල මොන තරම් ගැඹුරෙන්ද තියෙන්නෙ කියල විද්‍යාඥයින්ට දැනගන්න පුළුවන්.
අනික තමයි කෙලින්ම කැනීම් කරන එක. 2016 දී මේ වගේ කැනීමක් සිද්ද වෙලා තියෙනවා. එතනදි හොයාගන්න පුළුවන් වෙනවා, ආවාටය මැදට වැටිච්ච ග්‍රැනයිට් පාෂාණ කුට්ටි. පොළොව යට කිලෝ මීටර් කිහිපයක් ඇතුලෙ තමයි ග්‍රැනයිට් පාෂාණ නිර්මාණය වෙන්නෙ. මේව පෘථිවිය මතු පිටට එන්න නම් සංකීර්ණ භූ විද්‍යාත්මක ක්‍රියාවලීන්ට භාජනය වෙලා, දීර්ඝ කාලයක් ගත වෙන්න ඕනෙ. ඒත් ග්‍රහක ඝට්ටනය මොනතරම් ප්‍රභලද කියනවා නම්, තත්පර කිහිපයක් ඇතුලත පාෂාණ අහසට විසිවෙලා, පස්සේ ඒ අවට ප්‍රදේශ වලට වැටිල තියෙනවා.
මේ විදිහට මරියානා ආගාධය ගොඩ වෙන්නෙ නැත්ද ?
මරියානා ආගාධය පිහිටන්නෙ පැසිෆික් සහ මරියානා කියන භූ තැටි දෙක අතර. මේ භූ තැටි ගැටීම නිසා පැසිපික් තැටිය පහලට යනවා. ඒ නිසා තමයි මරියානා ආගාධය නිර්මානය වෙලා තියෙන්නෙ. මේ ක්‍රියාවලිය තවමත් නතර වෙලා නැහැ. සුළු ප්‍රමාන වලින් ආගාධයේ ගැඹුර තාමත් වැඩි වෙමින් තියෙන්නෙ. නමුත් අවසාදිත තැන්පත් වෙන්නෙ ඉතාම සුළු ප්‍රමානයකින් විතරයි. ගාංගා මෝයවල්, මුහුදු රළ වගේ විශාල අවසාදිත ප්‍රමානයක් අරන් එන ප්‍රවාහයක් මරියානා ආගාධය අසල නැහැ. මේ නිසා මරියානා ආගාධය ගොඩ වෙනවාට වඩා වේගෙන්, ඒකෙ ගැඹුර වැඩි වෙන්න පුළුවන්.
අවසාන වශයෙන් කතාව මෙහෙම තේරුම් ගමු..!
මරියානා ආගාධය තමයි පෘථිවියේ ගැඹුරුම ස්ථානය. ඒකෙ Challenger Deep කියන ස්ථානය මීටර් 10,984 ක් ගැඹුරුයි. ඕනෙ නම් එවරස්ට් කන්ද මෙතන ගිල්ලන්න පුළුවන්, මුදුන පේන්නෙ නැති වෙන්න.
චික්සුලබ් ආවාටයේ ගැඹුර කි.මී. 20 ක් කියල කියන්නෙ, මතු පිටට විවෘත වෙලා තියෙන ගැඹුරක් නෙවෙයි. ග්‍රහකය වැදුනු මොහොතෙදී ම ඇති වෙල, පස්සෙ ක්‍රමානුකූලව පිරිල ගිය “බලපෑම් ව්‍යුහයේ” ගැඹුර..!
__
ස්වභාවික ලෝකය
ශරිත් මාධව විතාන