චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තීරණාත්මක දුරකථන සංවාදයක් ඊයේ (04) රාත්‍රියේ පවත්වා තිබේ. දෙරට අතර සන්නිවේදනය ශක්තිමත් කරමින් සහ වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කරමින් 2026 වසර අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය මත පදනම් වූ “ජයග්‍රාහී වසරක්” බවට පත් කර ගැනීමට නායක දෙපළ මෙහිදී එකඟතාව පළ කර ඇත. ඇමරිකාව සහ චීනය අතර පවතින සබඳතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බව ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය.
මෙම සංවාදයේදී තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් පවසා ඇත්තේ තායිවානය චීන භූමියක් බවත්, එය වෙන් වීමට කිසිසේත් ඉඩ නොදෙන බවත්ය. විශේෂයෙන්ම තායිවානයට අවි විකිණීමේ ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකාව උපරිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ෂී ජින් පිං අවධාරණය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ චීනයේ මෙම සැලකිල්ල පිළිබඳව තමා අවධානය යොමු කරන බවත්, තම ධුර කාලය තුළ ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට කැපවන බවත්ය.














