ජනතාවගේ ඡන්ද අයිතිය, ප්රජාතන්ත්රවාදය, ආරක්ෂා කර ගනිමින් තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුව සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ඉටු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා යැයි එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය.
ඊයේ (17දා) පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බංඩාර මහතා මෙසේද පැවසීය.
මහ මැතිවරණයේදී සමගි ජන බලවේයට ඡන්දය ලබාදුන්න ඡන්ද දායකයින්ට සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිෂන් සභාව, අදාළ නිලධාරීන්, ආරක්ෂක අංශවලට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශාල කාර්යයක් ඉටු කළා. ඒ වගේම මෙවර මැතිවරණයේදී ලක්ෂ 20 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් සමගි ජන බලවේගයට ලැබිලා තිබෙනවා. ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි තබපු ඒ විශ්වාසයට අපි ස්තුතිවන්ත වෙනවා.
කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයට පත්වන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ අනුව රට වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන්න විපක්ෂය ලෙස සමගි ජනබලවේගයට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා සිටින, තුනෙන් දෙකක බලයක් තිබෙන පක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ඉටු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. ජනතාවගේ ඡන්ද අයිතිය, ප්රජාතන්ත්රවාදය, ආරක්ෂා කර ගනිමින් ඒ කාර්යය ඉටු කරන්න අපි කටයුතු කරනවා.
අපි අද සිටින්නේ බංකොළොත් වුණ රටක. ජනතාවට තුන්වේල හරියාකාරව කෑමට නොහැකි රටක. පොහොර, ඉන්ධන සාධාරණ මිලකට ජනතාවට නොලැබෙන රටක. රටේ බලය ජාතික ජන බලවේගයට ලබාදෙන්න ජනතාව තීන්දු කරලා තිබෙනවා. ජනතාව ගත්ත ඒ තීරණය අපි පිළිගන්නවා. ඒ වගේම රජයේ වගකීම වෙන්නේ ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කිරීමයි. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් රජයේ ප්රමුඛ වගකිමක් වෙනවා. ආණ්ඩුවේ කාර්යයන් දෙස විපක්ෂය ලෙස සමගි ජන බලවේගය විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.
ඒ වගේම හොරු ඇල්ලීම සහ හොරුන් හොරා කාපු මුදල් දේපල නැවත ලබාගැනීම වර්තමාන රජයේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. ආණ්ඩුවට හොරුන් ඇල්ලීමට, හොරුන් හොරා කාපු මුදල් දේපළ නැවත ලබාගැනීමට ආණ්ඩුවට පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනවා. හොරුන් ඇල්ලීම සඳහා වන අණපනත් අපි පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ සමගි ජන බලවේගය විසින්. ඒ පනත ක්‍රියාත්මක කරන්න වර්තාමන රජයට හැකියාවක් තිබෙනවා. ඒ වගේම රටෙන් සොරකම් කළ දේපළ සහ ධනය නැවත ලබාගැනීම සඳහා වන පනතත් අපි පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. ඒ අණ පනත් නීති ගත කොට වහාම ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.