ජනතාවට ඇති එකම විකල්පය සජිත්ගේ සමගි ජන බලවේගයයි – සජිත් ප්‍රේමදාස
ජනතාවට අද ඇති එකම සත්‍ය විකල්පය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පක්ෂ මූලස්ථානයේදී පැවති, සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දේශපාලන හා රාජ්‍ය පාලන දැනුම වැඩිදියුණු කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මෙය ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ
“අද රටේ ජනතා නියෝජිතයන්ට ජනතාවගේ ගැටළු විසඳීම අනතුරුදායක පරිසරයක සිදුවෙනවා. දිනපතා වෙඩි පත්තු වීමක්, ඝාතන, පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් රට පාලනය කරනවා. ඔවුන්ගේ අදහස්ට එකඟ නොවුවහොත් මරණ තර්ජන ලැබෙන තත්ත්වයක් උදා වී තිබෙනවා. එමඟින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටී, යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මාරාන්තික පහරක් එල්ල වී තිබෙනවා.
ඔහු පෙන්වා දුන්නේ, මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ නීතිය හා සාමය පිහිටුවීමට අසමත් වූ දුර්වල රාජ්‍ය පාලනයක් බවයි.
“රජයගේ ප්‍රධාන වගකීම වන්නේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමයි. නමුත් වත්මන් ආණ්ඩුව තම දේශපාලන බලය මරණාධාර සමිතිවලට, යෞවන සමාජයට සහ සිවිල් ආරක්ෂක කමිටු වෙත ව්‍යාප්ත කර තිබෙනවා. එවන් ආණ්ඩුවකට රටේ සාමය සහ නීතිය ස්ථාපිත කරන්න බැහැ. බොරු පොරොන්දු දී ජනතාව අනාථ කර සැණකෙළි හා සන්දර්ශන දේශපාලනයේ නියැළී තාවකාලික ජනප්‍රියත්වයක් නඩත්තු කරනවා. මේ මහජන නියෝජිතයන්ට පරිණත ජනතා සේවාවක් කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. ”














