සමගි ජන බලවේගයට කා සමගින් හෝ එකතු වීමට අවශ්‍යතාවයක් නැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.
සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින්, ඒවා පත්තර කියවන වැඩසටහන්වල දී පවා සිරස්තල ලෙස ගෙන ඉස්මතු කරන කියන බවත් එය අමූලික පට්ටපල් බොරුවක් බවත් විපක්ෂ නායකවරයා පවසා ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමඟ පැවැති හමුවක දී විපක්ෂ නායකවරයා මෙලෙස පවසා තිබේ.
සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ඨ ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
හිටපු රජය කරපු දේ නැවත කිරීම ක්‍රමයේ වෙනස නොවන බවත්, ජනතාව රවටන්න, මුසාව මුලාව ප්‍රෝඩාව ඇන්දවීමෙන් ජනතාව නන්නත්තාර කරන්න සමගි ජන බලවේගය සුදානම් නැති බවත් ඔහු පැවසීය.
එමෙන්ම ප්‍රේමදාස මහතා සඳහන් කළේ අද වන විට රජය ව්‍යාජ සිරස්තල උපයෝගී කර ගෙන සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග එකතු වෙන්න උත්සාහ කරන බවට ව්‍යාජ පුවත් මැව්වද එය එසේ නොවන බවත්, ඔවුන් මෙවැනි ප්‍රවෘත්ති මවන්නේ සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා බවත් ය.
එසේම මේ රජය හා ජනාධිපතිවරයා ලැජ්ඡා නැතිව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා මැතිවරණ වේදිකාවේ අයිඑම්එෆ් ගිවිසුම් වෙනස් කරනවා යැයි කියූ වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් ගිවිසුම ඒ ආකාරයෙන්ම පිළිගෙන හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම යන බවත්, පැවසීය
බොරුවට මුසාවට මංමුලාවට වැඩි ආයුෂ නොමැති බවත්, ජනතාවාදි ජනහිතකාමී පොදුජනවාදී අලුත් ගමනක හැරවුම් ලක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවන බවත්, උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණයක් තිබීමට හේතුව එන්න එන්න රජයට ඇති අප්‍රසාදය වැඩි වීම නිසා ඉදිරියේදී කුමක් වේද කියා රජය බියෙන් සිටින නිසා බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය