ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) විසින් කැඳවන ලද හදිසි මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) අවසන් වූ අතර, නිකුත් වී ඇති පූර්ව මැතිවරණ ප්‍රතිඵල (Exit Polls) අනුව ඇය නියෝජනය කරන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) විශිෂ්ට බහුතර බලයක් ලබාගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
පක්ෂ නායකත්වයට පත්ව මාස හතරක් වැනි කෙටි කාලයකින් පසු මහජන වරම උරගා බැලීම සඳහා ඇය මෙම මැතිවරණය කැඳවීය. ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූ ඇය ලැබූ මෙම ජයග්‍රහණය සුවිශේෂී වන්නේ, දූෂණ චෝදනා සහ ඉහළ යන ජීවන වියදම හමුවේ මීට පෙර පාලනය හෙබවූ අගමැතිවරුන් දෙදෙනාම පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගෙන සිටි පසුබිමක ය.
ජපානයේ පශ්චාත් යුධ ඉතිහාසය තුළ ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම හේතුවෙන් LDP පක්ෂය ප්‍රමුඛ සභාග රජයන් වැඩි කාලයක් බලය හෙබවීමට සමත්ව ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ සානෙ ටකායිචිට සිය ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්ති වඩාත් ස්ථාවරව ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වේ.













