ජර්මානු රජය පෙරළා දැමීමට සහ අමාත්‍යවරයෙකු පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ “United Patriots” නැමැති අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් තිදෙනෙකුගේ නඩු විභාගය අද (01) මියුනිච් (Munich) හිදී ආරම්භ විය. මොවුන් ජර්මානු සමූහාණ්ඩුවේ නීත්‍යානුකූලභාවය ප්‍රතික්ෂේප කරන ‘Reichsbürger’ හෙවත් “රීච් හි පුරවැසියන්” නැමැති කුප්‍රකට අන්තවාදී කල්ලියට සම්බන්ධ බවට සැක කෙරේ.
අද දින අධිකරණය හමුවට පමුණුවන ලද 60 හැවිරිදි Achim M, 71 හැවිරිදි Joachim K සහ 62 හැවිරිදි Rainer S යන පුද්ගලයන්ට එරෙහිව මෙම කුමන්ත්‍රණයට සහය දීමේ චෝදනා එල්ල වී ඇත. රජය පෙරළා දැමීමෙන් පසු ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ “ප්‍රසියානු රාජධානිය” (Kingdom of Prussia) යටතේ රජයේ අමාත්‍ය ධුර දැරීමට ද මොවුන් සූදානමින් සිට ඇති බව අභිචෝදකයෝ පෙන්වා දෙති.
මීට පෙර 2025 මාර්තු මාසයේදී මෙම කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙකුට සිරදඬුවම් නියම වූයේ, ජර්මනිය තුළ සිවිල් යුද්ධයක් ඇති කර රාජ්‍ය බලය අල්ලා ගැනීමට සහ කොවිඩ් මර්දන නීති හඳුන්වා දුන් එවක සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් (Karl Lauterbach) පැහැර ගැනීමට උත්සාහ කිරීමේ වරදටය. 1871 පැරණි අධිරාජ්‍ය ව්‍යවස්ථාව මත පදනම් වූ නව ඒකාධිපති ජර්මනියක් බලහත්කාරයෙන් පිහිටුවීම මොවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.














