රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උපහාසයට ලක් කරමින් සැණකෙළි ප්‍රදර්ශන නිර්මාණය කළ ජර්මානු ජාතික කලාකරුවෙකු වන ජැක් ටිලීට (Jacques Tilly) මොස්කව් අධිකරණයක් මගින් වසර 8කට වැඩි සිර දඬුවමක් ඊයේ (02) නියම කර තිබේ. සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි පසුබිමක මෙම තීන්දුව ලබා දී ඇත.
62 හැවිරිදි ටිලී මහතාට එරෙහිව රුසියානු හමුදාව පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සහ ආගමික හැඟීම්වලට අපහාස කිරීම යන චෝදනා එල්ල වී තිබුණි. ඔහු 1984 වසරේ සිට ජර්මනියේ සුප්‍රකට ඩසල්ඩෝෆ් (Düsseldorf) සැණකෙළි පෙළපාලිය සඳහා දේශපාලනඥයන් උපහාසයට ලක් කෙරෙන නිර්මාණ ඉදිරිපත් කරන ප්‍රවීණ කලාකරුවෙකි.
ජර්මනියේ සැණකෙළි සංස්කෘතිය තුළ දේශීය හා ජාත්‍යන්තර දේශපාලන චරිත උපහාසයට ලක් කිරීම සාමාන්‍ය සිරිතක් වුවද, රුසියානු බලධාරීන් මෙය සැලකුවේ සිය ජනාධිපතිවරයාට සහ හමුදාවට එල්ල කළ බරපතල ප්‍රහාරයක් ලෙසය. මෙම අධිකරණ තීන්දුවත් සමඟ යුරෝපීය කලාකරුවන්ගේ ප්‍රකාශන නිදහස සහ රුසියාවේ පවතින දැඩි නීතිමය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් යළිත් කතාබහක් මතු වී තිබේ.
















