ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) සිය 2025 වසරට අදාළ වාර්ෂික වාර්තාව පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් පිළිගන්වා තිබෙනවා. NSB සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් සහ වැඩබලන සාමාන්‍යාධිකාරී මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී රෝහණ බණ්ඩාර වීරකෝන් යන මහත්වරුන් විසින් මෙම වාර්තාව භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බාර දෙනු ලැබුවා. මෙය හුදු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් ඉටු කිරීමකට එහා ගිය, බැංකුවේ විනිවිදභාවය, වගවීම සහ මනා මූල්‍ය පාලනය තහවුරු කෙරෙන සුවිශේෂී අවස්ථාවක් බවයි බැංකු කළමනාකාරීත්වය පවසන්නේ.
මෙවර 2025 වාර්ෂික වාර්තාව ‘සෑම ගමනක්ම බලගැන්වීම’ (Empowering Every Journey) යන තේමාව යටතේ එළිදක්වා තිබෙනවා. පසුගිය වසර කිහිපය පුරා බැංකුව ලබාගත් ඉහළ මූල්‍ය ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2025 වර්ෂය සඳහා සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 59 ක දැවැන්ත මුදලක් වාර්තා කිරීමට NSB සමූහය සමත්ව තිබෙනවා. මෙය ජාතික ඉතිරි කිරීමේ බැංකුව 1972 වසරේ ආරම්භ කළ දා සිට මේ දක්වා ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ලාභය ලෙසයි සටහන් වන්නේ.
මීට පෙර 2024 වසරේදීද රුපියල් බිලියන 38 කට අධික බදු පෙර මෙහෙයුම් ලාභයක් වාර්තා කරමින් බැංකුව ඓතිහාසික හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ අතර, මෙලෙස අඛණ්ඩව ලබන ඉහළ මූල්‍ය වර්ධනය මඟින් බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ විනයගරුක මූල්‍ය පාලනය මනාව පිළිබිඹු වන බව වාර්තා වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ඉතිරි කිරීමේ ආයතනය ලෙස සිය තැන්පතු පදනම ශක්තිමත්ව සහ ස්ථාවරව පවත්වා ගැනීමටද NSB බැංකුව සමත්ව තිබෙනවා.














