ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික බොක්සිං ශූරතාවලියේ ඊයේ (29) රාත්‍රියේ පැවති තරගයක් අතරතුර තරග ප්‍රතිඵල විකෘති කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
චෝදනා එල්ල කරන පාර්ශව පවසන්නේ සංගමයේ බලධාරීන්ට හිතවත් ක්‍රීඩකයන්ට වාසි සහගත ලෙස විනිසුරු තීරණ ලබාදීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.
මෙම තත්ත්වය උච්චතම අවස්ථාවට පත් වූයේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගයේ ප්‍රතිඵලය නිවේදනය කිරීමත් සමඟය.
අදාළ තරගයේ වට තුන පුරාම එක් ක්‍රීඩකයෙකු තාක්ෂණික දක්ෂතා පෙන්වමින් ඉතා පැහැදිලි ලෙස ඉදිරියෙන් සිටියද, ප්‍රතිවාදී ක්‍රීඩකයා නීති විරෝධී පහරදීම්වල නිරත වූ බවත් විනිසුරුවරයා එය නොසලකා හැර ඇති බවත් ප්‍රේක්ෂකයෝ පවසති.
විශේෂයෙන්ම පරාජයට පත්වෙමින් සිටි ක්‍රීඩකයා කාලය ලබා ගැනීම සඳහා පස් වතාවකට වඩා සිය මුඛ ආරක්ෂක ආවරණය (Mouthguard) බිම දැමුවද, ජාත්‍යන්තර බොක්සිං නීතිවලට පටහැනිව ඔහුට එරෙහිව ලකුණු අඩු කිරීමක් හෝ තරගයෙන් ඉවත් කිරීමක් සිදු කර නොමැත.
අවසානයේදී විනිසුරුවන් 4-1ක බෙදුණු තීරණයකින් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා පරාජය කර අනෙක් ක්‍රීඩකයා ජයග්‍රහණය කළ බව නිවේදනය කිරීමත් සමඟ ක්‍රීඩාගාරය තුළ ගුටිබැට හුවමාරුවක් දක්වා තත්ත්වය බරපතල වී තිබේ.














