ඊයේ (13) ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් වයස අවුරුදු 01 ක් හා මාස 07 ක දරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහව, මනම්පිටිය, බලංගොඩ සහ සිලාවතුර යන පොලිස් වසම්වලදී මෙම අනතුරු සිදුව ඇත.
**මහව අනතුර**
මහව පොලිස් වසමේ අනුරාධපුර-පාදෙණිය මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් කුඹුක් ගසක ගැටී ඇත. මෙම අනතුරින් කොච්චිවත්ත, වැලිවේරිය ප්‍රදේශවාසී 56 හැවිරිදි පුද්ගලයෙක් සහ 53 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත. පොලිසිය පවසන පරිදි, ඔවුන් අඹුසැමි යුවළකි.
**බලංගොඩ අනතුර**
බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් පසුපසට ධාවනය කරන විට නිවසේ සිටි වයස අවුරුදු 01 ක් හා මාස 07 ක දරුවා රෝදයට යටවී මිය ගොස් ඇත. මියගිය දරුවා ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා වන අතර, ඔහු දෙපැලමුල්ල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදුකළ වයස අවුරුදු 39 වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
**මනම්පිටිය අනතුර**
මනම්පිටිය පොලිස් වසමේ දිඹුලාගල මහඋල්පත මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පදික කාන්තාවකට ගැටී ඇත. මෙම අනතුරින් මහඋල්පත, කාශ්‍යපුර ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාව මිය ගොස් ඇත. පැදිකරුවන් ද තුවාල ලැබූ අතර, ඔවුන් මනම්පිටිය හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
**සිලාවතුර අනතුර**
සිලාවතුර පොලිස් වසමේ සිලාවතුර-මුල්ලිකුලම් පුත්තලම මාර්ගයේ පාසිතණ්ඩල් ප්‍රදේශයේදී යතුරුපැදියක් එළ ගවයෙකු හා ගැටී ඇත. මෙම අනතුරින් මරිච්චකට්ටි, මන්නාරම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පැදිකරුවෙකු මිය ගොස් ඇත. තවත් පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා මන්නාරම රෝහලට මාරු කර ඇත.