වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදවා රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සාක්ෂිකරුවන්ගෙන් මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, විත්ති පාර්ශවයේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා විසින් සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරන ලදී.
2010 සිට 2014 දක්වා කාලය තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්, සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ. හිටපු ඇමතිවරයාට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.
වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව නැවත මාර්තු 11 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.














