අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම යුරෝපීය මිතුරියක ලෙස සැලකෙන ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි, ඉරානයේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්ල වන තර්ජන හමුවේ සිය නිහඬතාවය බිඳ තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තා කරන පරිදි, ඉරානයේ නායකයින් කරන වැරදි වෙනුවෙන් එරට අහිංසක සිවිල් වැසියන් වන්දි ගෙවිය යුතු නැති බව ඇය අවධාරණය කර ඇත. මෙතෙක් කල් ට්‍රම්ප් සමඟ ඉතා සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් පවත්වාගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ මෙලෝනි පවා මෙලෙස විවෘතව අදහස් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ, ඉරාන යටිතල පහසුකම් විනාශ කරන බවට එල්ල වී ඇති තර්ජනය ජාත්‍යන්තර ප්‍රජාව කෙතරම් භීතියට පත් කර ඇති ද යන්නයි.
විශේෂයෙන්ම ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් වැනි සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ස්ථාන ඉලක්ක කිරීම මගින් සමස්ත ශිෂ්ටාචාරයක්ම අනතුරේ හෙළන බවට එල්ල වන විවේචන හමුවේ මෙලෝනිගේ මෙම ප්‍රකාශය තීරණාත්මක වේ. මීට පෙර ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයේ යටිතල පහසුකම් “ගල් යුගයට” යවන බවට කළ ප්‍රකාශය හමුවේ ඔහුගේ බොහෝ මිත්‍ර රටවල් පවා දැඩි කනස්සල්ලට පත්ව සිටියහ. අමෙරිකාවේ දැඩි යුද උපායමාර්ගය හමුවේ මෙලෝනි වැනි නායිකාවක මෙලෙස ස්වාධීන මතයක් ප්‍රකාශ කිරීම, යුරෝපීය රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික බෙදීමක් ලෙස ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, කටාර්හි වෙසෙන සිය පුරවැසියන්ට “ඕනෑම දරුණු තත්ත්වයකට” (Prep for the worst) සූදානම් වන ලෙස ස්පාඤ්ඤ තානාපති කාර්යාලය ද හදිසි දැනුම්දීමක් කර තිබේ. පවතින යුදමය වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම අඩාල විය හැකි බැවින්, හැකි ඉක්මනින් ආහාර, ජලය සහ ඖෂධ රැස් කර තබා ගන්නා ලෙස ඔවුන් සිය ජාතිකයින්ගෙන් ඉල්ලා සිටියි. කලාපයේ පවතින අනතුරුදායක තත්ත්වය සහ ඕනෑම මොහොතක ගුවන් ගමන් අත්හිටුවීමේ (Shutdown) අවදානම සැලකිල්ලට ගනිමින් බොහෝ විදේශීය තානාපති කාර්යාල මේ වන විටත් සිය වැසියන් සඳහා ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) සේවා ඇසුරින්















