ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) අගනගරය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගනිමින් අද (මාර්තු 15) සවස එල්ල වූ රොකට් ප්‍රහාරවලින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි. ඉරානය සමඟ පවතින යුධමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක, බ්නෙයි බ්‍රැක් (Bnei Brak) සහ රාමත් ගාන් (Ramat Gan) යන නගරවල ජනාවාස ප්‍රදේශවලට මෙලෙස රොකට් පතිත වී තිබේ.
ඊශ්‍රායලයේ ජාතික හදිසි සේවා ඒජන්සිය වන ‘මැගන් ඩේවිඩ් ඇඩොම්’ (Magen David Adom) ආයතනයට අනුව, තුවාල ලැබූවන් අතර වීදුරු කැබලි වැදීමෙන් තුවාල ලැබූ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ හිසට බරපතළ පහරක් වැදී තුවාල ලැබූ 70 හැවිරිදි පුද්ගලයෙකු සිටී. මීට අමතරව 46 හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණියක් සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. ප්‍රහාරයත් සමඟ ටෙල් අවිව් නගරය පුරා අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ අතර ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීමට පියවර ගෙන තිබුණි.
ඉරානයේ සිට හෝ ඉරාන හිතවාදී කණ්ඩායම් විසින් එල්ල කරන ලද මෙම රොකට් ප්‍රහාර මාලාව හේතුවෙන් ප්‍රදේශයේ නිවාස සහ වාහන කිහිපයකට ද හානි සිදුව තිබේ. ඉශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ සිය මිසයිල නාශක පද්ධති මගින් රොකට් කිහිපයක් විනාශ කළ ද, සමහර රොකට් කැබලි ජනාවාස මතට වැටීමෙන් මෙම හානි සිදුව ඇති බවයි. මෙම ප්‍රහාරයත් සමඟ ඉශ්‍රායලය විසින් ඉරානයේ ඉලක්ක වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇත.














