පසුගිය සෙනසුරාදා රාත්‍රියේ එංගලන්තයේ ඩර්බි (Derby) නගර මධ්‍යයේ පදිකයන් පිරිසක් යට කරමින් මෝටර් රථයක් පදවා පුද්ගලයන් හත් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ. සැකකරු අද (01) දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවීමට නියමිතව ඇත.
අල්වාස්ටන් ප්‍රදේශයේ පදිංචි සන්ධු පොන්නචන් (Sandhu Ponnachan) නමැති සැකකරුට එරෙහිව චේතනාන්විතව බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා හයක්, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක්, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ තියුණු ආයුධයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී තිබේ. කළු පැහැති සුසුකි ස්විෆ්ට් (Suzuki Swift) වර්ගයේ මෝටර් රථයකින් පදිකයන් යට කර ඇති අතර, තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 36ත් 52ත් අතර පසුවන පිරිමින් හතර දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.
පොලිසිය අවධාරණය කරන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත්, මෙය හුදෙකලා සිදුවීමක් ලෙස සලකා විමර්ශන පවත්වන බවත්ය. තුවාල ලැබූ හත් දෙනාගෙන් තිදෙනෙකු මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙක් පිරිස තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති. ඩර්බි ප්‍රජාව දැඩි කම්පනයට පත් කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන ලෙස කටයුතු කරන ලෙසත්, කිසිදු පදනමක් නොමැති සමපේක්ෂණ ප්‍රචාරය නොකරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.














