ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා භාවිතය නියාමනය කිරීම සඳහා විධිමත් අදියරගත වැඩපිළිවෙළක් සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) විසින් ආරම්භ කර තිබේ. සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත සියලුම ඩ්‍රෝන යානා මෙම නව පද්ධතිය යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බවයි.
පසුගිය වසරේ හඳුන්වා දුන් IES 53 ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස QR කේත භාවිතයෙන් ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමේ මාර්ගගත පද්ධතියක් (Online registration system) දැනටමත් හඳුන්වා දී ඇත. නුදුරු අනාගතයේදී මේ සඳහා මාර්ගගත ගෙවීම් ක්‍රමවේදයක් (Online payment method) හඳුන්වා දීමට ද නියමිත අතර, සමස්ත නියාමන පද්ධතිය සහ මෙහෙයුම් මධ්‍යස්ථාන ජාලය මෙම වසර තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
කපිතාන් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ වාණිජ සහ වෘත්තීය අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරන්නන් වෙනුවෙන් බලපත්‍ර ක්‍රමයක් (Licenses) මේ වසරේදී හඳුන්වා දෙන බවයි. එමෙන්ම කැමරා සවිකර ඇති සියලුම ඩ්‍රෝන යානා මෙම නව නියාමන පද්ධතිය යටතේ විධිමත් පාලනයකට යටත් කිරීමට ද පියවර ගෙන ඇත.













