
පෙත්සමේ සඳහන් වන්නේ මොනවා ද?
පෙත්සම්කරු සිය පෙත්සම මගින් කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බව ය.
මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජූනි මස 2 වන දා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන ඇති බවත් මහ ජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ තවදුරටත් සඳහන් වෙයි.
මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.
මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු තොරතුරු ඉන්දියාව අතට පත්වන බවත්, ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සම මගින් චෝදනා කර තිබේ.
දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලැබ ඇති තීරණය අත්තනෝමතික මෙන් ම නීතියට පටහැනි බව ත් ද පෙත්සම්කරු සඳහන් කරයි.
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්
මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන් ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව, ඉන්දියාව සමග ඇති කර ගෙන තිබෙන මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් පෙත්සකරු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.
(උපුටා ගැනීම – bbc සිංහල)