තංගල්ල ප්‍රදේශයේ වෙරළාසන්න අවන්හලක් විසින් දේශීය ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කරමින් ‘විදේශිකයන්ට පමණයි’ (Foreigners Only) ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ. එක්සත් රාජධානියේ පදිංචිව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එම අවන්හලෙන් සේවය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම පුවත කරළියට පැමිණ ඇත.
අදාළ අවන්හලේ මුදල් අයකැමිවරයා තමන්ට සේවය කළ නොහැකි බව ප්‍රකාශ කළ බවත්, එම අවස්ථාවේ අවන්හලේ වෙනත් කිසිවෙකු නොසිටි බවත් සිද්ධියට මුහුණ දුන් පිරිස පවසති. “අපේ හම දුඹුරු පාට නිසා මොහු අපට සේවය කිරීම ප්‍රතික්ෂේප කරනවා. ගංවතුර වැනි ආපදා අවස්ථාවලදී සංචාරක කර්මාන්තයට උදව් කරන්න කියලා ලොකු පීඩනයක් ආවත්, මෙවැනි සිදුවීම් නිසා ඒ ගැන කලකිරෙනවා. මම එක්සත් රාජධානියේදීවත් මෙවැනි ජාතිවාදී අත්දැකීමකට මුහුණ දීලා නැහැ” යැයි ඔවුන් වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
සංචාරක කලාපවල පිහිටි ඇතැම් අවන්හල් සහ සංචාරක හෝටල් දේශීය ජනතාව කොන් කරමින් විදේශිකයන්ට පමණක් ප්‍රමුඛතාව ලබා දීමේ ප්‍රවණතාවක් පවතින බවට මෙම වීඩියෝව මගින් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම ආර්ථික අර්බුද හමුවේ දේශීය සංචාරකයාගේ දායකත්වය වැදගත් වන පසුබිමක මෙවැනි ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බව බොහෝ දෙනා පවසති.














