රජයේ ආහාර, පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300 සහ පරිප්පු කිලෝ 2,100ක් ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවැතීම නිසා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් පෙරේදා (2දා) සවස තඹුත්තේගම මහෙස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ඉදිරියේදී විනාශ කරනු ලැබුවා.
2023 වසරේ දෙසැම්බර් හතර වැනි දින තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බුද්ධික මල්ලවආරච්චි මහතාට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී තලාකොළවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර සකස් කිරීම වෙනුවෙන් ලබාදීම සඳහා ලොරි රථයකින් රැගෙන යමින් තිබියදීයි මෙම පරිප්පු හා සහල් තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඒ ඔස්සේ තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණයේදී තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී හා තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේදී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ තවත් පරිප්පු සහ සහල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබුවා.