ඓතිහාසික වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කළ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන තලෙයිමන්නාරම ජැටිය අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ප්‍රධාන මාර්ගයේ සිට මගීන්ට සහ වාහනවලට නැව් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි මීටර් 310ක් දිග සහ මීටර් 7ක් පළල උතුරු ජැටියක් ඉදිකිරීමට යෝජනා වී තිබේ. රාත්‍රී කාලයේදී ද මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි නවීන ආලෝකකරණ පද්ධති ස්ථාපනය කිරීම ද මෙම සැලැස්මට ඇතුළත් කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ජැටියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. 1984 වසර දක්වා තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ක්‍රියාත්මක වූ වාණිජ නැව් සේවාව යුදමය වාතාවරණය හේතුවෙන් නතර වූ අතර, එතැන් සිට නිසි නඩත්තුවක් නොමැති වීම නිසා දැනට පවතින කොන්ක්‍රීට් සහ වානේ ව්‍යුහය දැඩි ලෙස දිරාපත් වී පවතී. ජැටිය ආසන්නයේම දුම්රිය ස්ථානය පිහිටා තිබීම නිසා මෙම වරාය සංවර්ධනය මගින් භාණ්ඩ හා මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කිරීමට හැකි වනු ඇතැයි නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
තලෙයිමන්නාරම ප්‍රදේශය ඉන්දියාවට ඉතා සමීපව පිහිටා තිබීම නිසා පවතින උපායමාර්ගික වැදගත්කම සලකා බලා මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙම වරාය නැවත සංවර්ධනය කිරීම හරහා ආර්ථික ආදායම් ඉහළ නංවා ගැනීමටත්, දෙරට අතර ලාභදායී ප්‍රවාහන මාර්ගයක් විවෘත කිරීමටත් අපේක්ෂා කෙරේ.














