ත්‍රිකුණාමල වෙරළ සංරක්ෂණ කලාපයේ අනවසරයෙන් බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා අද (28) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, වෙරළබඩ ආරක්ෂිත කලාපයක අනවසර ඉදිකිරීම් සිදු කිරීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුගිය ජනවාරි 14 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
මෙම සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ගොනු කර ඇති චෝදනා ඉල්ලා අස්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමල වරාය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාලය තුළ බලංගොඩ කස්සප හිමියන් විසින් බන්ධනාගාරය තුළ උපවාසයක් ද ආරම්භ කළ අතර, පසුව එය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
අද දින අධිකරණයේදී ඉදිරිපත් වන කරුණු සහ නීතිපතිවරයාගේ ස්ථාවරය මත සැකකරුවන්ට ඇප ලබා දීම හෝ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් වීමට නියමිතය.














