තායිලන්තයේ පැවැති මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් (Anutin Charnavirakul) ප්‍රමුඛ පාලක කොන්සර්වේටිව් පිල විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බව මූලික ඡන්ද ප්‍රතිඵල වාර්තා කරයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සාර්ථකත්වය තමන්ට ඡන්දය දුන් හෝ නොදුන් සියලුම තායි ජනතාවට හිමිවන බවයි. මැතිවරණයට පෙර පැවැති මත විමසුම්වලින් ප්‍රතිසංස්කරණවාදී ‘මහජන පක්ෂය’ (People’s Party) ඉදිරියෙන් සිටිනු ඇතැයි පුරෝකථනය කර තිබුණද, එම සියලු මතයන් අසත්‍ය කරමින් අනුටින්ගේ ‘භූම්ජයිතායි’ (Bhumjaithai) පක්ෂය ආසන 500කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 194ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
ප්‍රතිසංස්කරණවාදී මහජන පක්ෂයට මෙවර හිමිව ඇත්තේ ආසන 116ක් පමණක් වන අතර එහි නායක නට්තපොං රුඇන්පන්යාවුත් දැනටමත් සිය පරාජය පිළිගෙන ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ කාම්බෝජය සමඟ ඇති වූ දේශසීමා ගැටුම් හමුවේ ජාතිකවාදී හැඟීම් සහ සාම්ප්‍රදායික ආයතන ආරක්ෂා කිරීමේ පොරොන්දු මත අනුටින් චාන්විරාකුල් සිය ප්‍රචාරණ කටයුතු දියත් කළේය. මීට අමතරව, කලක් තායිලන්ත දේශපාලනයේ ප්‍රමුඛයාව සිටි ෂිනවත්රා පවුලේ ‘පියු තායි’ (Pheu Thai) පක්ෂයට මෙවර ලබාගත හැකි වූයේ ආසන 86ක් වැනි අඩු ප්‍රමාණයක් වීම විශේෂත්වයකි.
ආර්ථික පසුබෑම සහ දූෂණ චෝදනා හමුවේ තරුණ ප්‍රජාව වෙනසක් අපේක්ෂා කළද, ග්‍රාමීය ජනතාව සහ වැඩිහිටි පරපුර අතර අනුටින්ගේ සරල මූල්‍ය සහන පොරොන්දු වඩාත් ජනප්‍රිය වී ඇති බව මෙම ප්‍රතිඵලවලින් පැහැදිලි වේ. මැතිවරණයට සමගාමීව 2017 ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයේදී ද 65%ක ජනතාවක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.














