තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන කුවෝමින්ටැං (KMT) පක්ෂයේ සභාපතිනී චෙන්ග් ලී-වුං මහත්මිය අද (07) චීනය බලා පිටත් වූවාය. අප්‍රේල් 12 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය “සාම මෙහෙයුමක්” ලෙස නම් කර ඇති අතර, එහිදී ඇය චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමට ද නියමිත බව වාර්තා වේ. තායිවානය වටා චීන යුද නැව් සහ හමුදාමය බලපෑම් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
ගුවන් තොටුපළ බලා පිටත්වීමට පෙර සිය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය ඇමතූ චෙන්ග් ලී-වුං මහත්මිය ප්‍රකාශ කළේ මෙය සාමය උදෙසා කෙරෙන ඓතිහාසික ගමනක් බවයි. ලොව භයානකම ස්ථානයක් බවට පත්ව ඇති තායිවානය ආරක්ෂිතම ස්ථානයක් බවට පත් කිරීම සඳහා පවතින සුළු හෝ අවස්ථාවක් මඟ නොහැරිය යුතු බව ඇය එහිදී අවධාරණය කළාය.
කෙසේ වෙතත්, තායිවාන රජයේ අමාත්‍යවරුන් පවසන්නේ චීනයේ හමුදාමය බලපෑම් වහාම නතර කරන ලෙස චීන බලධාරීන්ට දැනුම් දීමට මෙම සංචාරය අවස්ථාවක් කරගත යුතු බවයි. තායිවාන ජනාධිපති ලායි චිං-ටේ “බෙදුම්වාදියෙකු” ලෙස හංවඩු ගසමින් ඔහු සමඟ සාකච්ඡා කිරීම චීනය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී. මෙම දේශපාලන උණුසුම මධ්‍යයේ තායිවාන පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ඩොලර් බිලියන 40 ක අතිරේක ආරක්ෂක වියදම් සැලසුමක් ද අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














