තොග වෙළෙඳුන් සහල් තොග නිකුත් නොකිරීම නිසා දිවයිනේ කුඩා පරිමාණයේ සිල්ලර වෙළෙඳසල් රැසක සහල් වෙළෙඳාම නතර කර ඇතැයි තොරතුරු අනාවරණය වේ.
මහා පරිමාණ සහල් වෙළෙදුන් තොග වෙළෙඳුන්ට සහල් තොග සැපයුවද, තොග වෙළෙඳුන් එම තොග ඔවුන්ගේ වෙළෙඳසල්වල තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම නිසා කුඩා සිල්ලර වෙළෙදසල්වලට සහල් තොග නොලැබෙන බවද පැවැසේ.
තොග වෙළෙඳුන් සීමිත සහල් ප්‍රමාණයක් සිල්ලර වෙළෙඳුන්ට සැපයූවත්, එය අලෙවි කරන්නේ ද රජය නිකුත් කරන ලද උපරිම සිල්ලර මිල යටතේ බැවින්, තමන්ට සහල් වෙළෙඳාමෙන් ලාභයක් නොමැති බව ද කුඩා පරිමාණ සිල්ලර වෙළෙඳුන් කියා සිටිති.
මේ නිසා ඇතැම් සිල්ලර වෙළෙඳුන් සහල් කිලෝ පහක් හෝ දහයක් වෙළෙඳසලේ සඟවා තබා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට පමණක් අලෙවි කරන අතර, නාඩු සහල් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 250 ක මිලටය.
එමෙන්ම, මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (17 වැනිදා) දිනයේදී නාඩු සහ කැකුළු සහල් අලෙවි කිරීමට නොතිබිණි.