විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටු වන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ අද (26) විශේෂ සටහනක් තබමින් ඔහු කියා සිටියේ මිලියන ගණනකගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් තුළ පවතින කලකිරීම සහ කෝපය තමන්ට මැනවින් වැටහෙන බවයි. ශ්‍රී ලංකාව සම-සංවිධායක රටක් ලෙස මෙවර තරගාවලියට පැමිණියේ දැවැන්ත විශ්වාසයක් සහ පැහැදිලි සැලසුම් සහිතව වුවද, අපේක්ෂා කළ ප්‍රතිඵල කරා යාමට නොහැකි වූ බව ඔහු එහිදී සඳහන් කර තිබේ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක දසුන් ශානක, ක්‍රිකට් පද්ධතිය සහ ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම ක්‍රිකට් උරුමය ඉදිරියට ගෙන යාමට වෙහෙසෙන ක්‍රීඩකයින්ව අත්නොහරින ලෙසයි. තමන් සෑම විටම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව යන නාමය වෙනුවෙන් පමණක් බවත්, ඉදිරියටත් කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය. පරාජයන් හමුවේ වුවද කණ්ඩායම කෙරෙහි විශ්වාසය තැබූ සියලුම ක්‍රීඩාලෝලීන්ට සිය ස්තූතිය පිරිනමන බවද ඔහු සිය සටහන මගින් වැඩිදුරටත් පවසා ඇත.













