‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 500ක සහනාධාර තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙම සහල් තොගය නිල වශයෙන් භාරදීම අද (09) පෙරවරුවේ සිදු කෙරුණු අතර, මෙරට මියන්මාර තානාපතිනි මාර්ලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය විසින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත එය භාර දෙන ලදී.
දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට සමස්ත වගා බිම්වලින් 20%ක් පමණ විනාශයට පත්ව ඇති පසුබිමක, පීඩාවට පත් ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පරිත්‍යාගය බෙහෙවින් ඉවහල් වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මියන්මාර රජය මීට පෙර ලබාදුන් මූල්‍ය ආධාරවලට අමතරව මෙම සහල් තොගය ලබා දී ඇත.
මෙම සහල් තොගය කඩිනමින් ආපදා සහන සේවා හරහා පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කරන බවත්, අසීරු අවස්ථාවේ මියන්මාරය දැක්වූ සහයෝගය අගය කරන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














