‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූ විෂමතා ලක්ෂණ සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර, ඒ අනුව මෙරට ත්‍රිමාණ සිතියම අලුතින් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි. නායයෑම් හේතුවෙන් ඇතැම් කඳු පන්ති විනාශ වීම හා උස වෙනස් වීම මෙන්ම ගංගාවල හැඩය ද වෙනස් වී ඇති බව මිනුම්පති එන්.කේ.යූ. රෝහණ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම කටයුතු සඳහා අවශ්‍ය චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත විදේශීය සංවිධානවලින් ලබාගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද වීම නිසා සිතියම්කරණ කටයුතුවලට බාධා මතුව තිබේ.
ආපදාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඉඩම් මායිම් සීමා ද වෙනස් වී ඇති බැවින් ඒවා යළි නිර්ණය කිරීමේ කටයුතුවල මිනින්දෝරු නිලධාරීන් මේ දිනවල නිරතව සිටිති. මේ අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙරට වෙරළ තීරයේ කිලෝමීටර් 143ක් පමණ දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති බවයි. ස්වාභාවික විපත් හේතුවෙන් මෙරට භූගෝලීය ස්වරූපයේ සිදු වූ මෙම සුවිශේෂී වෙනස්කම් නිවැරදිව සිතියම්ගත කිරීම ඉදිරි සංවර්ධන හා ආපදා කළමනාකරණ කටයුතු සඳහා තීරණාත්මක වනු ඇත.














