‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් මිලියන 2.2ක් පීඩාවට පත්ව ඇති බවත්, මෙය වසර 20කට පසු මෙරට සිදුවූ දරුණුතම ගංවතුර සහ නායයෑම් ආපදාව බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත උපුටා දක්වමින් නිකුත් කළ අලුත්ම තත්ත්ව වාර්තාවට අනුව, 2025 දෙසැම්බර් 29 වන විට පුද්ගලයින් 646 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 173 දෙනෙකු අතුරුදහන් වී ඇත.
මෙම ව්‍යසනය හේතුවෙන් ලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, ඉන් නිවාස 6,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. දැනටමත් පුද්ගලයින් 165,000ක් පමණ අවතැන්ව සිටින අතර ආරක්ෂිත මධ්‍යස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම මෙම ආපදාව හේතුවෙන් දරුවන් 113 දෙනෙකුට සිය මව්පියන් හෝ දෙදෙනාගෙන් අයෙකු අහිමි වී ඇති අතර, ඉන් දරුවන් 15 දෙනෙකුම පූර්ණ අනාථ භාවයට පත්ව ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ජල හා සනීපාරක්ෂක පද්ධති බිඳවැටීමත් සමඟ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, මානුෂීය ආධාර සැපයීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.














