ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ මෙරට රන් වෙළෙඳපොළ තුළ ද ගතවූ දින තුන ඇතුළත රන් මිල රුපියල් 29,000කින් පමණ සැලකිය යුතු ලෙස අඩුවී තිබේ. ඒ අනුව පසුගිය 19 වනදා රුපියල් 13,000කින් ද, ඊයේ (20) රුපියල් 6,000කින් ද සහ අද (21) තවත් රුපියල් 10,000කින් ද ලෙස මිල ගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සහ ඒ සමඟ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම රත්‍රං මිල මෙලෙස පහළ යාමට බලපා ඇත. කෙසේ වෙතත්, මෙය තාවකාලික තත්ත්වයක් විය හැකි බවත්, ඉදිරියේදී තෙල් මිල ස්ථාවර වීමත් සමඟ රත්‍රං මිල නැවත ඉහළ යා හැකි බවත් ආර්ථික විශේෂඥයෝ පවසති.














