පෙබරවාරි 04 – ‘දෙහිබාලේ’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන තංගල්ල, මොරකැටිආර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි රුවන් බුද්ධික නැමැත්තා තංගල්ල කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ හතළිස් දෙකකට (රු. 4,260,000) අධික මුදලක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103ක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත. මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බවයි.
මෙම සැකකරුගෙන් ලද තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, පසුගිය වසරේ සැප්තැම්බර් 12 වනදා කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ‘රුවන් පැතුම 05’ බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා සහ ඔහුගේ සහායකයා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ධීවර රැකියාවේ නිරත වන මුවාවෙන් මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී ඇත. අදාළ යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයන් සිව්දෙනෙකු සහ යාත්‍රාව සොයා ගැනීමට පොලිසිය සහ නාවික හමුදාව එක්ව මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.















